Sunday, May 3, 2015

කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මෙත්ත සූත්‍රය යනු වහාම ප්‍රතිපල ගෙන දෙන භාවනාවක්

අපේ බුදුරජානන් වහන්සේ වැඩිම වසර ගණනක් වාසය කරලා තියෙන්නේ සැවැත් නුවර ජේතවනාරාමයේ. වැඩිම ධර්ම දේශනා පවත්වලා තියෙන්නෙත් ජේතවනාරාමයේ. උන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරලා තියෙන්නෙත් ජේතවනාරාමයෙදීමයි. (සැවැත් නුවර තියෙන්නේ වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ. බෞද්ධ අපට වැදගත් වෙන ස්ථාන රාශියක් බිහාර් ප්‍රාන්තයේ තියනවා.)

එක වස් කාලයක හාමුදුරුවරුන් පන්සීයක් බුදුහාමුදුරුවන්ගෙන් කමටහන් එහෙම ලබාගෙන වස් වසන්නට සූදානම් වෙලා ඒ ළඟ තිබුන වන රොදකට වැදුනාලු. ඒ වනයේ තිබුන දැවැන්ත ගස්වල හිටපු වෘක්ෂ දේවතාවන්ගෙන් මේ හාමුදුරුවරුන්ට හරියට හිරිහැර වුනාලු. (අපේ රටේ රක්ෂිතයි කියල දැන්වීම් ගහල තියන කැලෑවල පවා මිනිස්සු ගස් හොරෙන් කැපුවට ඒ කාලේ බිහාර්වල ගස් හොඳ සනීපෙට වැවෙන්න ඇති. වෘක්ෂ දේවතාවොත් එහෙම ගස් හොයාගෙන ඒවගේ අරක් ගෙන ජීවත් වෙන්න ඇති.)

හැබෑවටම ඔය හිරිහැර වුනා කියන එක සමහරවිට මෙහෙම වෙන්න ඇති.

හාමුදුරුවරුන් එසේ මෙසේ ගණනක් යැයි, පන්සීයක්. එකිනෙකා හෙමි හෙමින් කතා කළත් ලොකු ශබ්දයක් එන්න ඇතිනේ. තව ඔය පාත්තර  එකට වදින සද්ද, ඉඳගන්න වැතිරෙන්න ගෙනා රෙදිකඩ ගසා දමන සද්ද, ඈණුම් අරින සද්ද, කිවිසින සද්ද - ඕවා එකට වුනහම දෙවියන්ට මහා කරදරයක් වෙන්න ඇති. වෘක්ෂ දේවතාවරුන් කියන්නේ රහත් වෙච්ච කට්ටියක් නෙවෙයිනෙ. ඇත්තටම එයාලා හාමුදුරුවරුන්ට හිරිහැර කරන්න ඇති. මේ හාමුදුරුගොල්ල මෙතන හිටියොත් අපේ නිදහස නැත්තටම නැතිවෙනව කියල හිතල සමහරවිට ඇනුම් පද කියන්න ඇති. එහා ගහේ නැත්නම් ඊටත් එහා ගහේ ඉන්න මිත්‍ර දේවතාවන් සමග හයියෙන් කතා කරන්න ඇති. දේවතා එළි එහෙට මෙහෙට යවල හාමුදුරුවරුන් බය කරන්නත් ඇති. තමන්ට හිමි වෙලා තියන පාරක් හරි භූමියක් හරි තව කෙනෙක් අත්පත් කරගන්න හදනකොට අපි කලබල වෙන හැටි අපි දන්නවනේ. කොහොම වුනත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගලයක් වගේ මේක ටිකක් තදට යන්න ඇති.

හැබැයි හාමුදුරුවරු ටික තමන් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් බව හිතල පසුබැහල මේ සිද්දවෙන කරදරය ගැන බුදුන් වහන්සේටම පැමිණිලි කළාලු. ඔබට කැමති නම් මවා ගන්න පුලුවනි එතන සිදුවුණු සිදුවීම. අද අපේ රටේ ඉන්න සමහර හාමුදුරුවරු වගේ එතන හිටිය සමහර හාමුදුරුවරු තද කෝපයෙන්, වෛරයෙන් කතා කරන්න ඇති. සමහරු බුදුන් වහන්සේ ඉදිරියේදී වෘක්ෂ දේවතාවරුන්ට බනින්න ඇති. තවත් සමහර හාමුදුරුවරු බුදුහාමුදුරුවෝ දෙවියන්ට දඬුවම් කරන තුරු බලාගෙන ඉන්නත් ඇති. කොහොම වුනත් මේ හාමුදුරුවරුන්ට ලොකු කරදයකට මුහුණ දෙන්න වෙලා තියන බව නම් බුදුහාමුදුරුවන්ට තේරෙන්න ඇති.

අපේ බුදුහාමුදුරුවෝ මොකද කලේ දන්නවද? හිත ඇවිස්සෙන්න එක වචනයක් වත් පිට කලේ නැහැ. ඒ වෙනුවට හාමුදුරුවන්ට කරණීය මෙත්ත සූත්‍රය ඉගැන්නුවා. උගන්නලා කීවා එතෙනටම ගිහින් හොඳ අවබෝධයෙන් යුතුව සජ්ජායනා කරන්න - භාවනා කරන්න කියල. මුලින් මුලින් පුංචි පුංචි ආරවුල් තියෙන්න ඇති. හැබැයි මේක අසමින් හිටපු දෙවියොත් දේශනා කරපු හාමුදුරුවරුත් නිවුණා .

මෙච්චර දෙයක් කරපු කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මොකක්ද කියලා හොයලා බැලුවහම තමයි තේරෙන්නේ ඒකෙ තියන ලස්සන. අපි පන්සල් ගියාට මල් පූජා කලාට පහන් පත්තු කලාට මදි. අපේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය පීරලා අවුස්සලා බලන්න ඕනැ. ඒවා තේරුම් ගන්න ගන්න උන්වහන්සේ ගැන තියන ගෞරවය වැඩිවෙනවා. බුදුන් වහන්සේ නම් පුදුමාකාර මනුස්සයෙක් කියල හිතෙන්න ගන්නවා. බෞද්ධයෙක් වෙලා ඉපදීමට අපි මොනතරම් වාසනාවන්තද කියල හිතෙන්න ගන්නවා.

කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, නොසන්සුන්කමින්, කපටිකමින්, අසාධාරනකමින්, දඩබ්බරකමින්, දුෂ්චරිතයෙන් පීඩාවට පත්වුණු, බයවුණු, තැති අරගෙන හෙම්බත් වුණු අයට ශාන්තිය සැනසිල්ල ගෙනදෙන ඖෂධයක්. කොතැනකදී හරි පරාජයක් ලබපු අයට හොඳ අභිප්‍රේරනයක්. ඇවිදිද්දී, වැඩකරද්දී, නිදහසේ ඉඳිද්දී, නින්දට යද්දී, නින්දෙන් අවදිවෙද්දී මෛත්‍රිය මෙනෙහි කරන්න පුලුවනි නම් ඒක තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් වෙනවා. නිතර මෙත් සිත් පතුරුවන අය ඉබේම ආරක්ෂා වෙනවා. 



නිරෝගීව හිඳීමට, තිබෙන කරදර - හිරිහැර  දුරුකරලීමට සහ සිදුවෙන්නට ඉඩ තියන අනතුරු ආපදා වලින් මුදවාලන්නට කරණීය මෙත්ත සූත්‍රය අප්‍රමාණ බලයක් සපයනවා.  දුකට පත්වුණු, අසරණ බවට පත්වුණු, රෝගී වුණු අය ඉලක්ක කරගෙන සජ්ජායනා කලොත් - මෙනෙහි කලොත් - ඔවුන් දුකින්, අසරණ බවෙන් සහ රෝගී බවෙන් මුදවා ගැනීමටත් එය උපකාරී වෙනවා.

පුදුමය කියන්නේ මේ ඵල ප්‍රයෝජන ගැනීම සඳහා හම්බකරපු ධනයෙන් හෝ තැන්පත් ධනයෙන් සත පහක්වත් වියදම් වෙන්නේ නැති එකයි.

බුදුහාමුදුරුවෝ නම් මෙත් සිත පතුරුවන්න කියා දීල තියෙන්නේ පුදුමාකාර පරාසයකට. ඒක ඒ විදියටම පිළිපැදීම තමයි අපි කරන්න ඕනැ. නමුත් එදිනෙදා අපට ඇතිවෙන අවශ්‍යතා මත පවුලේ සැමියන්, බිරින්දෑවරුන්, දරුවන්, මුණුබුරන්, සොයුරු සොයුරියන්, දෙමාපියන්, ගුරුවරුන්, යහලු යෙහෙළියන්, නෑදෑ හිතවතුන්, රැකියා ස්ථානයේ සිටින්නන්, ගමේ නගරයේ සහ රටේ වෙසෙන්නන්, විදේශයන්හි  සිටින්නන්, ගිලන්ව සිටින්නන්, සාගින්නෙන් පෙළෙන්නන්, මනස අවුල්වූවන්, අතීතයේ සතුරුවූවන්, දැනට සතුරුකම් කරන්නවුන් ආදී වශයෙන් ඕනෑම කෙනෙකුන් හෝ ඕනෑම ජන කොට්ඨාශයක් ඉලක්ක කරගෙන මෙත් පතුරුවන්න පුලුවනි. අවශ්‍ය ප්‍රතිඵලය ඒකාන්තයෙන්ම ලැබෙන බව තදින් විශ්වාස කරගෙන මෙත් වැඩුවොත් ප්‍රතිඵල ඒකාන්තයෙන්ම ලැබෙනවා ලැබෙනවාමයි.

කරණීය මෙත්ත සූත්‍රයේ කියැවෙන දේවල් ගැනත්, ඒවායේ ගැඹුර ගැනත්, ඒ ගැඹුරේ ලස්සන ගැනත් පොඩ්ඩක් හොයල බලමු.

කරණීය මෙත්ත සූත්‍රය

බොහෝ දෙනා මේ සූත්‍රය හඳුනාගෙන ඇත්තේ මෙත් පැතිරවීම උගන්වන දේශනාවක් හැටියටයි. එහෙත් එහි එන ගාථා දහයෙන් දෙක හමාරක්ම තියෙන්නේ භාවනාව වැඩීමට උත්සාහ ගන්නා කෙනෙකු තුල තිබිය යුතු අංග ලක්ෂණ මොනවාදැයි කියා දීමටයි.

ඒවා කියා දෙන්නේ නිවන් දකින්නට කැමති අයකු විසින් ඇතිකරගත යුතු කුසලතා ලෙසයි. බුදුන් වහන්සේ කියා දුන්න නිවන යනු නැවත උත්පත්තියක් නැති පරම සුවයයි. නමුත් මොහොතකට ඒ තරම් ගැඹුරු ඉලක්කයක් ගැනීම පසෙකින් තියමු.

රෝගියකුගේ ආසන්නතම ඉලක්කය - ඔහුගේ නිවන - සුවපත් වීම නොවේද?

පරාජිතයකුගේ ඉක්මන් නිවන ජය නොවේද?

බියපත් වූවෙකුගේ ආසන්නතම නිවන ආරක්ෂාව නොවේද?

කාන්සාවට ලක්වුවෙකුගේ ආසන්නම නිවන අභිප්‍රේරනය නොවේද?


මේ සෑම කෙනෙකුගේම අපේක්ෂාවන් ඉටුකර ගැනීමටත් මේ සූත්‍රය උපයෝගී කරගන්න පුලුවනි. ඒ සඳහාත් ඔය බුදු හාමුදුරුවෝ පෙන්වපු කුසලතා අවශ්‍යමයි. වෙන විදියකින් කීවොත් එහෙම කුසලතාවන් නැති කෙනෙකුට නම් මෛත්‍රී භාවනාව කරන්න බැහැ. නීතියෙන් බැහැ නොවෙයි - එයාලට මේක කරන්න බැහැ.

හොඳයි. දැන් සූත්‍රය පටන් ගන්න හැටි බලන්න. සූත්‍රය නැවත මෙහි ලියන්නේ නැහැ. ඒ නිසා මුද්‍රණය කළ සූත්‍රය ළඟින් තියාගෙන හෙමින් මෙය කියවමින් අවබෝධ  කරගන්න  උත්සාහ කරන්න.

කරණීය මෙත්ත කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච

මේ දෙපදයෙන් කියන්නේ නිවනට පැමිණීමට කැමති අය විසින් ඇති කරගත යුතු කුසලතා යන්නයි.

ඒ කුසලතා මොනවද කියා විස්තර කරන්නේ ඊට පස්සෙ.

1.සක්කෝ - මේක පළමුවෙන් දේශනා කරන්නේ හාමුදුරුවරුන්ටනේ. එහෙමනම් හාමුදුරුවරු උපන් කුසල් වැඩීමෙහි, උපන් අකුසල් නැසීමෙහි හැකියා ඇත්තෝ විය යුතුයි; වත් පිළිවෙත් කිරීමෙහි හැකියාව ඇත්තෝ විය යුතුයි; පාත්‍ර සිවුරු ආදිය සකසා ගැනීමෙහි හැකියාව ඇත්තෝ විය යුතුයි; එකට වාසය කරන හාමුදුරුවරුන්ගේ කුදු  මහත් කටයුතු කරදීමට හැකියාව ඇත්තෝ විය යුතුයි කියලයි කියන්නෙ.

ගිහියන් හැටියට නම්  - සමාජමය වශයෙන් රාජකාරි වශයෙන් කෙනෙකුට පැවරෙන, කාර්ය භාරය, වගකීම සහ යුතුකම  නිසි ලෙස ඉටුකළ හැකි ඇත්තෝ විය යුතුයි.

පවුලේ නායකයා ලෙස, නායිකාව ලෙස, සාමාජිකයා ලෙස ඉටු කිරීමට ඇති සියලු දේවල්වල අලසකමක් නැතිව නියැලෙමින් දක්ෂකම වඩවා ගත්තෝ විය යුතුයි.

සේවා ස්ථානයක නම් පෙර නොතිබූ දක්ෂතා ඉස්මතු කර ගනිමින් ආයතනයට ඵලදායක සේවාවක් ඉටුකරමින් තමන්ගේද ජීවිතය ඔප මට්ටම් කරගැනීමට හැකියාවක් ඇත්තෝ විය යුතුයි.

(එහෙම නම් අපි අවට සිටින හැමෝටම මෛත්‍රී කරන්න බැරි බව ඔබට වැටහෙනවා ඇති)

2. උජූ ච - හාමුරුවරුනුත් ගිහියොත් ඍජු විය යුතුයි. මුහුණට  පමණක් නොව සිතින්ද වංක නැති ඇත්තෝ විය යුතුයි. වංක බවින් කරනුයේ අනුන් රවටාලීමයි. අනුන් රවටන්න නම් තමන් තුල තියන අවංකකම අත්හරින්න ඕනැ.

නැති ගුණ පෙන්වලා ලාභ ප්‍රයෝජන ගන්න උත්සාහ කරනකොට - වාසි බලාපොරොත්තුවෙන් යම් යම් දේ කරනකොට ඍජු බව ඉතුරුවෙන්නේ නැහැ.

පවුලේ අය උදෙසා හෝ අසල්වැසි, ගම්වැසි, රටවැසි උදෙසා හෝ කිසියම්ම දෙයක් කරන්නේ මතු ලාභ ප්‍රයෝජන උදෙසා නම් ඔවුන් ඍජු පුද්ගලයින් නොවේ.

බුදුන් වහන්සේගේ දේශනා අනුව ඍජු බව නැති අයට මෙත් වඩන්න බැහැ. ඉතින් පන්සල් ගිහින් බෝමලුවේ වැතිරිලා කරණීය මෙත්ත සූත්‍රය සිය වතාවක් කීවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

සේවා ස්ථානයේ තම සේවා නවත්වලා වෙනත් පෞද්ගලික කටුයුතුවල නිරත වෙන්නන්, කිසිදු සේවාවක් නොකොට කාලය අපතේ යවන්නන්, සේවා ස්ථාන දේපොළ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්නන්, නොකළ සේවා සඳහා ලාභ ප්‍රයෝජන ගන්නන්, ගුණවතුන්ට හිමි කීර්ති ප්‍රසංශා ලබන්නන්, ආත්ම ලාභය උදෙසා අන් අය කරන කුඨ  දේ ඉවසන්නන් අවංක අය- ඍජු අය කියා කියන්න බැහැ. එවැනි අය මෙත් පතුරුවන්නේ කොහොමද?

3. සුජූ - වඩාත් ඍජු විය යුතුයි. එක අවස්ථාවක හෝ එක කරුණකදී පමණක් නොවෙයි දිවි ඇතිතෙක්ම ඍජු විය යුතුයි.

4. සුවචෝ - කීකරු වන, එකඟ වන පුද්ගලයෙකු විය යුතුයි. අනුන් විසින් කරන ලද අවවාද පිළිගන්නා කෙනෙකු විය යුතුයි. අවවාද කරන විට කිපෙන, නොසරුප් බස් දොඩන, නොකළයුතු ලෙස හැසිරෙන අය සුවච ගණයට වැටෙන්නේ නැහැ. අවවාදයක් කළවිටදී  එය පිළිගත් බව පෙන්වා පසුව ඊට විරුද්ධ ලෙස හැසිරීමත් සුවච බව නොවේ. කුඩා සාමනේර කෙනෙකු වුවත් දෙන අනුශාසනාවක් පිළිගැනීමට හැකි නම් හාමුදුරු කෙනෙකුන් වුවත් ගිහියෙකු වුවත් සුවච ගණයට වැටෙනවා.

ගිහියන් හැටියට නීතිය රකින්න ඕනැ. සදාචාරය රකින්න ඕනැ. සමාජ සම්මුතිවලට, ගුරු උපදේශවලට, උතුමන්ගේ, ශ්‍රේෂ්ඨයන්ගේ වචනවලට අවනත වෙන්න ඕන. මේවා නොතකන කෙනෙකුට, නොරකින කෙනෙකුට මෙත් වඩන්න බැහැ.

( බුදුන්වහන්සේගේ ලස්සන දහම පීරලා බලන්න කැමති නම් වෙනත් වෙලාවක මහා මංගල සූත්‍රයේ විස්තර කරන "සොවචස්සතා" කියන මංගල කරුණ බලන්න.)

5. මුදු - මෘදු බව, මොලොක් බව. මෙයත් වඩවාගන්න අමාරු ගුණාංගයක්. ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත් අංගයක්. මෘදු බවක් නොපෙන්වන හාමුදුරු කෙනෙකුගෙන් බණක් අහන්න - උපදෙසක් ගන්න යන්නේ කවුද? මෘදු මොලොක් ගතිගුණ නැති ගෑනියෙක්  ගන්නේ මොන මිනිහද? මුදු මොලොක් බව නැති මිනිහෙක් එක්ක දීග කන්නේ මොන ගෑණිද? උපදෙසක් දෙන වෙලාවට මුහුණ හකුලුවාගෙන, එක්කෝ අහක බලාගෙන සිටින අයත්, කෑකෝ නොගැසුවට - උපාසක විදියට රඟ පෑවට  මෘදු අය නොවෙයි. මෘදු මොලොක් ගති ඇත්තවුන් හරිම ප්‍රසන්නයි. මෙත් පතන්නටත් මේ ගුණය වඩවා ගත යුතු බවයි දේශනාවෙ තියෙන්නේ.

6. අනතිමානී - අතිමාන නොවූ, උඩඟු නොවූ, ජාතියෙන්, කුලයෙන්, උගත්කමින් හෝ බුද්ධිමත්කමින් මම අන් අයට වඩා උසස් යැයි සිතමින් - වෙන කිසිවකුට මා ළඟටවත් එන්නට බැහැ කියා සිතමින් - මාන්නයෙන් හිස පුරවා නොගැනීම අනතිමානී ගුණයයි. අනුන්ට නින්දා කරන්නවුන්ට, මෙත් පැතීම වැනි උසස් ක්‍රියාවක නිරත වෙන්න බැහැ. අහංකාර උද්ධච්ච උඩඟු මාන්නක්කාර කෙනෙකු නොවිය යුතුයි.

(ඔන්න පලවෙනි ගාථාව ඉවරයි. )

ඉතින් ඔය ගුණාංග නැති කෙනාට මෙත් වැඩීම තහනම්ද? නැහැ. තහනම් නැහැ. හැබැයි නිකං වචන කීවට නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

එහෙම නම් කරන්න ඕනැ ඔය කීව ගුණාංග කෙරෙහි පිහිටීමයි. ඒවායේ පිහිටන්න සල්ලි ඕනැ නැහැ. නමුත්  පෝයක් දවසට පන්සලට යන්න හිත දෙන කෙනෙකුට, මල් පූජා කරලා බුදුගුණ සිහි කරන්න හිත දෙන කෙනෙකුට, අසරණයෙකුට  පිහිට වෙන්න හිත දෙන කෙනෙකුට ඕනෑම නම් - තමන් ළඟ නැති ඔය ගුණයන්ගේ පිහිටෙන්න කිසිම අමාරුවක් නැහැ.

(මෙත් නොපැතුවත්  ඔය කියූ ගුණවලින් හෙබි මිනිසුන් සිටින්නේ නම් මේ ලෝකය කොතරම් සුන්දර වෙයිද?)

7. සන්තුස්සකෝ ච - මේ කියන්නේ ලද දෙයින් සතුටු වියහැකි අය වීම ගැනයි. හාමුදුරුවරුන්  සඳහා මෙය තුන් විදියකට විවරණය කරලා තියනවා.

(අ) හොඳින් පිළියෙළ වුනත් නොවුනත් ඕනෑම දෙයක් පිළිකුල් නොකරමින්, මෙය ප්‍රමාණවත් යැයි සෑහීමට සතුටු වීමට පත්වීම.

(ආ) දැනට ඇති දේ ප්‍රමාණවත් යැයි මෙනෙහි කරමින් ඉන් මත්තට සොයන්නට පතන්නට ඉදිරිපත් නොවීම.

(ඇ) සමාන ලෙස සැලකීම.ඒ කියන්නෙ හොඳ දේ ගැන ඇල්මක්වත් අයහපත් දේ ගැන අමනාපයක්වත් නොකොට සියල්ල සම සිතින් පිළිගැනීමයි.

මේ අනුව 'ඇති' ,'ප්‍රමාණවත්', 'සෑහෙනවා' යන හැගීම්  ඇතිවෙයි නම් එය ලද දෙයින් සතුටු වීම කියා සලකන්න පුලුවනි.

බුදුහාමුදුරුවෝ තවත් තැනක දේශනා කරලා තියනවා (කන්දරක සූත්‍රයේදී) කය සැතපීමට ප්‍රමාණවත් සිවුරු සහ කුස පිරීමට තරම් පිණ්ඩපාතය උපයා ගැනීම මගින් සතුටට පත්වූ හාමුදුරු නමක් ගැන.

ගිහියකුට වුනත් මේ ශ්‍රේෂ්ඨ ගුණය අවශ්‍යමයි. ඒ කියන්නේ දැනට ලැබී ඇති දේ ප්‍රමාණවත් යයි සිතා කිසිදු දිනෙක තෘප්තිමත් කරන්න බැරි දැඩි ආශාවන් - දැඩි තෘෂ්ණාවන් අත හැරීමයි.

හැබැයි ඒකෙන් කියන්නේ නැහැ "කොච්චර කළත් මට ලැබෙන්නේ මෙච්චරයි" කියල කලකිරීමට පත් විය යුතුයි කියලා.

හොඳට මතක තියාගන්න.

අධික තෘෂ්ණාව, ආශාව තුනී කර ගැනීම මිස අලස වීම, කලකිරීම, උකටලීව විසීම මෙයින් අදහස් වන්නේ නැහැ.

8. සුභරෝ ච - මෙහි තේරුම පහසුවෙන් නඩත්තු කළ හැකි යන්නයි. හාමුදුරු කෙනෙක් තමන්ගේ පැවැත්ම සඳහා දායකයන් දෙන කිසියම් දෙයක්  තුලින් යැපිය හැකි කෙනෙක් විය යුතුයි. එය ප්‍රණීත වුවත්, නීරස වුවත් එයින් යැපිය හැකි කෙනෙක් විය යුතුයි. බහු භාණ්ඩික භික්ෂුවක ළඟ - ඒ කියන්නේ බොහෝ දේ පරිහරණය කරන හාමුදුරුවන් කෙනෙකු ළඟ සුභර බවක් නැහැ.

ඇත්තටම බුදුන්වහන්සේ භික්ෂු ජීවිතය ගැන  වර්ණනා කරද්දී හුඟක් තැන්වල කියල තියෙන්නේ "සෙය්‍යථාපි  පක්ඛි සකුණෝ සපත්ත භාරෝ" කියලයි. තමන්ගේ පියාපත්වල බර පමණක් උසුලමින් පියාසර කරන පක්ෂියකු වගේ කියන තේරුමයි එහි තියෙන්නේ. හාමුදුරු කෙනෙකුගේ ජීවිතය ඒ තරම් සැහැල්ලු බවයි එයින් කියවෙන්නෙ.

ගිහියකුට මේ ගුණය රඳවා ගන්නට ටිකක් අමාරුයි. එහෙත් එක්කෙනෙක් නඩත්තු කිරීම සඳහා මහා විශාල ධනයක්, සැප යාන වාහන රාශියක්, ආහාර පාන මහා ගොඩක්, වස්ත්‍රාභරණ ගොඩක්, ගෙවල් දොරවල් කීපයක්, සේවක පිරිස් ගණනාවක් තබා ගනිමින් දැඩි දුකක් සහ වෙහෙසක් දරන්නට වෙනවා නම් ඒ ජීවිතය සුභාරෝ නොවෙයි. ඒ ජීවිතය සැහැල්ලු වෙන්නේ නැහැනෙ. එහෙම අයට මෛත්‍රිය ප්‍රගුණ කරන්නට බැහැ.

9. අප්පකිච්චෝ ච - අල්ප වූ වැඩ ඇති, සීමිත වූ වැඩ ඇති, සංකීර්ණ නොවූ වැඩ ඇති කියන තේරුමයි. හාමුදුරුවරුන් විහාර හදන්නයි, ගිහියන්ගේ කටයුතු වලට නිතරම සම්බන්ධ වෙන්නයි, සමිති සමාගම්වල නිල තල හොබවන්නයි, දේශපාලනය කරන්නයි, නඩු කියන්නයි, පුංචි හාමුදුරුවරුන්ට උගන්වන්නයි වගේ දේවල නියැලෙන්න ගත්තහම උන්වහන්සේලාගේ සංඝ ජීවිතය අවුල් වෙනවා. සංකීර්ණ වෙනවා. ඒ බර කරට ගත්තහම මහන දම් පුරන්ට කාලයක් නැහැ නොවැ. එහෙයින් මෙත් වඩන්නට සැරසෙන කෙනා තමන්ගේ පැවැත්මට අදාළ වැඩ ටිකක පමණක් නිරත විය යුතුයි. පැවිද්දෙක් හැමවිටම වැඩ ටිකක් පමණක් කරට ගත් සත්‍යවාදී කෙනෙකුම විය යුතුයි.

ගිහියන් කෙරෙහිත් එය එසේමයි. අතොරක් නැති, විවේකයක් නැති, සතුටක් නැති වැඩ රාශියක් බදා ගත් විට ගිහියකුගේ මනස අවුල් ගොඩක් බවට පත් වෙනවා. සරල ජීවිතය පතන කෙනෙක් තමන්ගේ කාර්යයන් සීමා කර ගන්නවා. අවම කර ගන්නවා. එමගින් සිත සන්සුන් කර ගන්නවා.

එයින් අදහස් වෙන්නේ තමන්ට ඇති වගකීම් පැහැර හැරිය යුතුය කියල නෙවෙයි. ගිහියෙක් වුනත් තෝරාගත් ධාර්මික වැඩ කටයුතුවල පමණක් නිරතවිය යුතුයි. ඒවා සංකීර්ණ ජීවිතයකට මග පාදන්නට හේතු නොවිය යුතුයි.

10. සල්ලහුකවුත්ති - ඉතා සැහැල්ලු වෘතියක් ඇති, සැහැල්ලු පැවැත්මක් ඇති, සැහැල්ලුවෙන් ජීවත්වන, බහු භාණ්ඩික නොවී ජීවත්වන යන තේරුමයි. හාමුදුරු නමක් ගමනක් යනවිට සිවුරු ඇඳ ඇතිරිලි පාවහන් යනාදිය පොදි  බැඳගෙන මහජනයා ලවා ගෙන යන්නේ නම් එබඳු හාමුදුරුවරුන් සංඝ සමාජයටත් ගිහි සමාජයටත් බරක්. එහෙම කළහම මෙත් සිත් පතුරුවන්නට සිත් පහල වෙන්නේ නැහැ.

සංකීර්ණ හා කලබලකාරී ජීවිත ගත කරන්නට යනවිට ගිහියන්ටද මනස නිරවුල්ව පවත්වා ගන්න බැහැ. සරල දිවි පෙවතක් ගත කරන්නට ඉටා ගැනීමෙන් මනස සන්සුන්ව පවත්වාගෙන මෙත් වැඩීම සඳහා එය සකස් කර ගත හැකිවෙනවා.

11. සන්තින්ද්‍රියෝ ච - සාන්ත වූ ඉඳුරන් ඇති, දමනය වූ ඉඳුරන් ඇති යන තේරුමයි.

ඇස, කන, නාසය වැනි ඉඳුරන් ගෙන් ලැබෙන නොයෙක් අරමුණු ලෝභ, ද්වේෂ ආදී වශයෙන් නොගෙන සිටීම තමයි ඉඳුරන් දමනය කියන දෙයින් අදහස් කරන්නේ. ඇසින් දුටු ප්‍රියජනක දසුනක් කෙරෙහි ඇලෙමින්, එය රාග වශයෙන් ගෙන, දිගින් දිගටම එම රාග සිතුවිලි පහල කෙරෙන දසුන් දැකීමට පෙළඹුණහොත් ඒ ඇස පිනවීමකි. එවිට ඇස දමනය වීමක් නැත. අනිත් අතට ඇසින් දුටු රූපයක් නිසා ද්වේෂ සහගත සිතුවිලි ජනිත කරවාගෙන එමගින් සිත කිලිටි කරගතහොත් එවිටත් ඇස දමනයවීමක් නැත. මේ විදියට ඉඳුරන් පහ සහ මනස පිනවන්නට නොයා ඒවා තුලින් ලැබෙන අරමුණු අවබෝධයකින් යුතුව හඳුනා ගන්නට පුලුවනි නම් - ඒ අරමුණුවල නොඇලී ඉන්නට පුලුවනි  නම් - එවිට සාන්ත වූ ඉඳුරන් ඇත්තේ යැයි කියන්නට පුලුවන්. මෙය මෙත් වඩන කෙනෙකුට හුඟක් උපකාරී වෙයි.

එය ගිහියන්ටද පොදුයි. දකින දකින දේ ගැන, අසන අසන දේ ගැන ඇලී ගැලී සිත පිනවීමට යාමෙන් ධනයත් කාලයත් වැය වෙයි. මනස කිලිටි වූ විට එය පවිත්‍ර කර ගැනීම ඉතා අමාරු කාර්යයක්. ඒ නිසා ඉඳුරන් පාලනය කිරීම සහ සන්සුන් කිරීම ඉතාම වැදගත් වෙයි. මෙත් පැතීමට නම් මෙය ලබා ගත යුතු ඉතාම වැදගත් තත්වයක්.

12. නිපකෝ ච - තැනට සුදුසු නුවණ ඇත්තෙකු, විචක්ෂණ බුද්ධියක් ඇත්තෙකු යන තේරුම යෙදේ.

13. අප්පගබ්භෝ - ප්‍රගල්භ නොවූ, හැඩි දැඩි නොවූ, ගොරෝසු නොවූ, රළු නොවූ යන තේරුම යෙදේ. හාමුදුරුවරුන් මැද  නොසරුප් ලෙස - අගරු ලෙස හැසිරීම කතාබහ කිරීම, වැඩිහිටි හාමුදුරුවරුන්ට අගරු වන ලෙස වැඩ කිරීම උන්වන්සේලාට ආසන නොදීම, වයසින් බාල හාමුදුරුවරුන් නැගිටවීම, නෑමට කලින් පැමිණි හාමුදුරුවරුන් සිටියදී ඉදිරියට පැන නෑම, නාද්දී දිය ඉසීම වැනි හාමුදුරුවරුන්ට නොකැප දේ කිරීම, වැඩිහිටි හාමදුරුවරුන් විමසන්නේ නැතිව බණ කීම වැනි දේ ප්‍රගල්භ නම් වෙයි.

පෝලිම් සැදී හිටගෙන සිටිද්දී පෝලිම් කඩාගෙන ඉදිරියට ගොස් තම වැඩය කරගන්නා අය ගිහි අපි නිතර දකිනවා. නිහඬ බව රකින්නට උවමනා තැන්වල ඝෝෂාකාරී ලෙස හැසිරෙන අය, පොදු තැන්වල ජංගම දුරකතනයෙන් උස් හඬින් පුද්ගලික කතා පවත්වාගෙන යන අය අපි නිතර දකිනවා. ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ පුහු ලාමක ගති ගුණයි. මෙත් වැඩීමට සූදානම් වන අය මෙබඳු ගොරහැඩිකම්, දඩබ්බරකම් මග හරවා ගත යුතුයි.

14. කුලේසු අනනුගිද්ධෝ - පවුල්වලට ගිජු නොවූ, පවුල්වලට නොඇලුණු යන තේරුම යෙදේ. හාමුදුරුවරුන් නිවසකට, පවුලකට හෝ එවැනි පවුල් කීපයකට ඇලෙමින් ඔවුන්ගේ වැඩකටයුතුවලට මැදිහත් වෙමින් කල් ගෙවන්නේනම් එය භික්ෂු ජීවිතයට නොවටී. එවැනි අයගෙන් සියලු ලෝක සත්වයන්ට මෙත් පැතීමක් බලාපොරොත්තු විය නොහැකියි.

ගිහියෙකුටද එය එසේමය. ගිහියෙකුට නීතියෙන් හෝ සමාජ සම්මුතියෙන් හෝ ඇලිය හැක්කේ තම පවුලට පමණයි. මෙය වරද්දා ගන්නා තැන් අපි දකිනවා. එයින් මිදිය යුතුයි. නමුත් නෑයන්ට සංග්‍රහ කිරීම නැවැත්විය යුතුයි යන්න හෝ ඔවුන් අත් හල යුතුයි යන්න මෙයින් අදහස් වෙන්නේ නැහැ.

(ඔන්න දෙවෙනි ගාථාවත් විස්තර කරලා ඉවරයි. )

එහෙම නම් සාරාංශය මේකයි.

මෙත් වැඩීමට ඉදිරිපත් වන්නකු දක්ෂ ඍජු වඩාත් ඍජු සුවච මෘදු උඩඟු නොවූ සෑහීමට පත්වූ පහසුවෙන් පෝෂණය කළ හැකි ස්වල්ප කටයුතු ඇති සරල ලෙස ජීවත්වන සන්සුන් වූ ඉඳුරන් ඇති තැනට සුදුසු නුවන ඇති හැඩි දැඩි නැති පවුල්වලට නොඇලුණු






කෙනෙකු විය යුතුයි.

ඊළඟ ගාථාවේ “න ච ඛුද්දන් සමාචරේ - කිඤ්චි යේන විඤ්ඤූ පරේ උපවදෙ‍‍ය්‍යුං”  යන දෙපදයෙන් ලස්සන උපදෙසක් කියැවෙනවා.

නැණවත් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙන කිසිම දෙයක් කරන්න එපා කියන එකයි එහි තේරුම. එය ගිහි පැවිදි දෙගොල්ලන්ටම එකසේ වැදගත්.

මෙත් පැතීම ආරම්භ වන්නේ මෙතැන් සිටයි.

බුදුන්වහන්සේ මෙත් වඩන්නට කියාදෙන පරාසය ගැන හොඳින් විමසා බලන්න. මේ මිහිතලයේ - මේ විශ්වයේ - මේ සක්වලේ කිසිම ප්‍රාණියකු ගිලිහෙන්නට නොදී මෙත් පතුරුවන්නට පුලුවන් වෙන විදියටයි මේ මෙත් පැතීම හැදිලා තියෙන්නේ.

සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

සියලු සත්වයෝ සැපඇත්තෝ වෙත්වා! භය නැත්තෝ වෙත්වා! සුඛිත වූ සිත් ඇත්තෝ වෙත්වා!

සුඛිනෝ වා
-
සැපය ඇත්තෝ
ඛේමිනෝ
-
භය නැත්තෝ
හොන්තු
-
වෙත්වා !
සබ්බේ
-
සියලු
සත්තා
-
සත්වයෝ
භවන්තු
-
වෙත්වා!
සුඛිතත්තා
-
සුඛිත වූ සිත් ඇත්තෝ
යේ කේචි
-
යම් කිසි
පාණභූතත්ථී
-
ප්‍රාණියෙක් ඇත්නම්
තසා වා
-
දුර්වල වූ
ථාවරා වා
-
ස්ථාවර වූ
අනවසේසා
-
බැහැර කිරීමක් නැතිව ( සියලුම)
දීඝා වා
-
දිගු ශරීර ඇත්තාවූ
යේ
-
යම්
මහන්තා වා
-
මහත්වූ (අලින් ඇතුන් වගේ)
මජ්ඣිමා
-
මධ්‍යම ප්‍රාමාණයේ සතුන් (ගවයන්, අශ්වයන් වගේ)
රස්සකාණුක
-
ඉතාම කුඩා පියවි ඇසට නොපෙනෙන සතුන්
ථූලා
-
ස්ථුල වූ (ඉබ්බන් කැස්බෑවන්  වගේ සතුන්)
දිට්ඨා  වා
-
පෙනෙන
අද්දිට්ඨා
-
නොපෙනෙන
යේ
-
යම් අයෙක්
දූරේ වසන්ති
-
දුරක වසත්ද
අවිදූරේ
-
ළඟක වසත්ද
භූතා වා
-
ඉපදුනා වූ හෝ
සම්භවේසී වා
-
උපදින්නට සිටින
සබ්බේ සත්තා
-
සියලු සත්වයෝ
භවන්තු
-
වෙත්වා
සුඛිතත්තා
-
සුවපත් වූ සිත් ඇත්තෝ

බිය වූ (බෙල හීන වූ), ස්ථාවර වූ (ශක්තිමත් වූ) , දිගු වූ, මහත් වූ, මධ්‍යම ප්‍රමායේ වූ, ඉතා සියුම් වූ, ස්ථුල වූ, දක්නා ලද්දා වූ, නොදක්නා ලද්දා වූ, දුර වසන්නා වූ , ළඟ වසන්නා වූ, උපන්නා වූ හෝ උපදින්නට සිටින්නා වූ, සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!

මෙත් වඩන හැටි

පරෝ පරං
-
(පරස්පර නැතිව) එකිනෙකාට
නිඛුබ්බේථ
-
වංචා නොකෙරෙත්වා
නාතිමඤ්ඤේථ
-
අති මාන්‍ය නොකෙරෙත්වා (අවමන් නොකෙරෙත්වා)
කත්ථවි නං කඤ්චි
-
කිසි තැනෙක කිසිවකුට
ඛ්‍යාරෝසනා
-
තරහින්
පටිඝසඤ්ඤා
-
ද්වේෂ සිතින් (නපුරු සිතින්)
නාඤ්ඤමඤ්ඤස්ස
-
එකකු අනිකෙකුට
දුක්ඛමිච්ඡෙයිය
-
දුකක් නොපතත්වා

එකිනෙකාට වංචා නොකෙරෙත්වා! අවමන් නොකෙරෙත්වා! කිසි තැනෙක කිසිවකුට තරහින් ද්වේෂ සිතින් එකකු අනිකෙකුට දුකක් නොපතත්වා!

ඊළඟට බුදුන්වහන්සේ අපූරු උපමාවකින් මෙත් වැඩීමේ සංකල්පය කෙටි කර පෙන්වා තියනවා. බලන්න. මේ උපමාව මිනිසුනට පමණක් නොවේ - සතුන්ටත් වලංගුයි.

මාතා යථා
-
මව යම් සේ
නියං පුත්තං
-
තමන්ගෙන් ජනිත වූ
ආයුසා
-
ආයුෂය පුදා (ජීවිතය පුදා)
එකපුත්තමනුරක්ඛේ
-
එකම පුතු රකීද
ඒවම්පි
-
එසේම
සබ්බභූතේසු
-
සියලු සත්වයන් කෙරෙහි
මානසං
-
මෙත් සිත
භාවයේ
-
දියුණු කරන්නේය
අපරිමාණං
-
අප්‍රමාණව
මෙත්තං
-
මෛත්‍රියද
සබ්බ ලෝකස්මිං
-
සියලු ලෝකයා කෙරෙහි
මානසං
-
මෙත් සිත
භාවයේ
-
වඩන්නේය
අපරිමාණං
-
අප්‍රමාණව


මවක් යම් සේ තමන්ගෙන් ජනිත වූ එකම පුතු ජීවිතය පුදා රකින්නීද එසේම සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත වඩන්නේය; අප්‍රමාණව මෙත් සිත පතුරු වන්නේය; සියලු ලෝකයා කෙරෙහි මෙත් සිත සීමා රහිතව වඩන්නේය .

උද්ධං
-
උඩට (අපේ බොදු සංකල්පවලට අනුව නම් අරූප ලෝක දෙසට)
අධෝ
-
පහලට (අපේ බොදු සංකල්පවලට අනුව නම් කාම ලෝක දෙසට)
තිරියඤ්ච
-
තිරස් අතට (රූප ලෝක දෙසට)
අසම්බාධං
-
බාධාවක් නැතිව
අවේරං
-
වෛර කිරීමක් නැතිව
අසපත්තං
-
හතුරුකමක් නැතිව

කිසිදු බාධාවක් නැතිව, වෛරයක් නැතිව, සතුරුකමක් නැතිව, ඉහල දෙසට, පහල දෙසට හා හරස් දෙසට මේ මෙත් සිත පතුරු වන්නේය.

මෙත් සිත වඩන්නට කාලයක් හෝ තැනක් ඕනෑමයි කියල හිතන අයටත් බුදුන්වහන්සේ උපදේශයක් දීල තියනවා.
තිට්ටං
-
හිටගෙන සිටිමින්
චරං
-
ඇවිදිමින්
නිසින්නෝ වා
-
ඉඳගෙන සිටිමින් හෝ
සයනෝ වා
-
වැතිර සිටිමින්
යාවතස්ස
-
දක්වා විය යුතුයි  ( කියන්නේ)
විගතමිද්ධෝ
-
නොනිදා සිටින තාක්
එතං සතිං
-
මේ සතිය (මේ සිහිය)
අදිට්ඨෙය්‍ය
-
තබා ගත යුතු වේ.

හිටගෙන සිටිමින්, ඇවිදිමින්, ඉඳගෙන සිටිමින් හෝ වැතිර සිටිමින්, නොනිදා සිටින තාක් කල් මේ සිහිය පවත්වා ගත යුතු වේ.

ඒ කියන්නේ වෙනත් වැඩක් කරද්දී වුනත් සිතට ඉබාගාතේ යන්නට ඉඩ නොදී මෙත් සිත වඩන්නට පුරුදු වෙන්න පුලුවනි. බස් එකක දුම්රියක ගමන් කරද්දී මෙත් සිත වඩන්නට පුලුවනි. උදේ සයනයෙන් බිමට බහිද්දී මෙත් සිත වඩමින් එක මොහොතක් ඉන්න පුලුවනි. නින්දට යන්න පෙර පවුලේ සැමියා, බිරින්දෑ, දරුවන්, මුණුබුරන්, සොයුරු සොයුරියන්, දෙමාපියන්, ගුරුවරුන්, යහලු යෙහෙළියන්, නෑදෑ හිතවතුන්, රැකියා ස්ථානයේ සිටින්නන්, ගමේ නගරයේ සහ රටේ වෙසෙන්නන්, විදේශයන්හි  සිටින්නන්, ගිලන්ව සිටින්නන්, සාගින්නෙන් පෙළෙන්නන්, මනස අවුල්වූවන්, අතීතයේ සතුරුවූවන්, දැනට සතුරුකම් කරන්නවුන් ආදී වශයෙන් ඕනෑම කෙනෙකුන් හෝ ඕනෑම ජන කොට්ඨාශයක් ඉලක්ක කරගෙන මෙත් පතුරුවන්න පුලුවනි.

ඉතිරි කොටසින් කියන්නේ මෙත් වැඩීමෙන් නිවන් සුව ලංකර ගන්න පුලුවන් බවයි.

බ්‍රහ්මමේතං
-
බ්‍රහ්ම
විහාරං
-
විහාරය
ඉධමාහු
-
මෙම ශාසනයෙහි කීහ
දිට්ඨිං
-
හුදු නාම රූප පමණක් තිබියදී එය නොදැන ආත්මයක් ඇත - සත්වයකු ඇත යන මිත්‍යා දෘෂ්ටියට
අනුපගම්ම
-
නොපැමිණ
දස්සනේන සම්පන්නෝ
-
නිවැරදි දර්ශනයෙන් යුක්ත වූයේ
කාමේසු
-
වස්තු කාමයන්හි
විනෙය්‍ය
-
සකුර්දාගාමි මාර්ගයෙන් සහමුලින්ම විනාශ කොට
ගේධං
-
ගිජු බව
හි
-
නො
ජාතු
-
ඒකාන්තයෙන්ම
ගබ්භසෙය්‍යං
-
මවු කුස පිළිසිඳ ගැනීමට
පුනරේතී ති
-
එයි

සෝතාපන්න මාර්ගය දකිනා නුවනින් යුතුවී කාමයන්ට ඇති ඇල්ම දුරුකොට නැවත මව් කුසක බැස ගැනීමට කිසි දිනෙක නොපැමිණේ.
______________________________________________________________________________

කරණීය මෙත්ත සූත්‍රය

මෙත් වැඩීම සරල සිංහල භාෂාවෙන් තෝරා ගත්විට මෙපරිදෙනි.

නිවන නම් වූ ඒ ශාන්ත තත්වයට පැමිණීමට කැමති දක්ෂයා විසින් මෙම මෙත් වැඩුම කළ මනාය.

ඔහු හැකියාවෙන් පොහොසත්වූද, ඍජු වූද, වඩාත් ඍජු වුද, උතුමන්ගේ වචනයට කීකරු වන්නාවූද අයකු විය යුතුයි. මුදු මොළොක් වූද, උඩඟු නොවූද, ලද දෙයින් සෑහීමට පත්වන්නාවූද අයකු විය යුතුයි. පහසුවෙන් නඩත්තු කළ හැකි, ස්වල්ප කටයුතු ඇති, සරල පැවැත්මෙහි නියුතු, සංවරවූ  ඉඳුරන් ඇති, තැනට සුදුසු නුවණැති, ගොරෝසු නොවූ, පවුල් වලට ගිජු නොවූ තැනැත්තෙක්ද විය යුතුය.

නැණවත් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙන කිසිම දෙයක් නොකරන්න.

සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා! භය නැත්තෝ වෙත්වා! සුඛිත වූ සිත් ඇත්තෝ වෙත්වා!

බිය වූ (බෙල හීන වූ), ස්ථාවර වූ (ශක්තිමත් වූ) , දිගු වූ, මහත් වූ, මධ්‍යම ප්‍රමාණයේ වූ, ඉතා සියුම් වූ, ස්ථුල වූ, දක්නා ලද්දා වූ, නොදක්නා ලද්දා වූ, දුර වසන්නා වූ , ළඟ වසන්නා වූ, උපන්නා වූ හෝ උපදින්නට සිටින්නා වූ, සියලු සත්වයෝ සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා!

එකිනෙකාට වංචා නොකෙරෙත්වා! අවමන් නොකෙරෙත්වා! කිසි තැනෙක කිසිවකුට තරහින් ද්වේෂ සිතින් එකකු අනිකෙකුට දුකක් නොපතත්වා!

මවක් යම් සේ තමන්ගෙන් ජනිත වූ එකම පුතු ජීවිතය පුදාරකින්නීද, එසේම සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත වඩන්නේය; අප්‍රමාණව මෙත් සිත පතුරු වන්නේය; සියලු ලෝකයා කෙරෙහි මෙත් සිත සීමා රහිතව වඩන්නේය .

හිටගෙන සිටිමින්, ඇවිදිමින්, ඉඳගෙන සිටිමින් හෝ වැතිර  සිටිමින්, නොනිදා සිටින තාක් කල් මේ සිහිය පවත්වා ගත යුතු වේ.

සෝතාපන්න මාර්ගය දකිනා නුවනින් යුතුවී කාමයන්ට ඇති ඇල්ම දුරුකොට නැවත මව් කුසක බැස ගැනීමට කිසි දිනෙක නොපැමිණේ.

කොළඹ මියුසියස් බාලකා විදුහලේ සිසුවියන් සෑම උදෑසනකම මේ භාවනාව සරල සිංහලෙන් ඉතාම ලස්සණට ගායනා කරනවා. එය මෙසේයි.

මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා!
මා මෙන්ම, මාගේ දෙමව්පියෝද, ගුරුවරයෝද, සියලු හිත මිතුරෝද, සියලු සත්වයෝද, නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා!
කිසිවෙක් කිසිවෙකුට ක්‍රෝධ නොකරත්වා!
කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා!
සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා!
සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා!
සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා!

මෙය  කවුරුන් හෝ ගයනු ඔබ අසා සිටියොත් එය ඔබේ සවනට මිහිරියි. මෙය ඔබ සිතින් මෙනෙහි කළොත් එය ඔබේ මනසට මිහිරියි. නිතර මෙනෙහි වනසේ මනසේ ලියාපදිංචි කළොත් ඒකාන්තයෙන්ම ඔබේ ජීවිතයේ ප්‍රතිඵලද මිහිරියි.
_________________________________________________________

ස්තුතියි. පින් ලැබේවා!

මෙම විද්‍යුත් පොත් පිංච සකස් කිරීමට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඇන්. එච්. පෙරේරා මහතා ලියා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයක් ලෙස එලි දක්වන ලද කරණීය මෙත්ත සූත්‍රය නම් පොත ප්‍රධාන වශයෙන්ද, www.slideshare.netහි පලවන කරණීය මෙත්ත සූත්‍රයේ PDF ලිපි ගොනුවද, learning-buddhism.blogspot.comහි කරණීය මෙත්ත සූත්‍රයේ ඉංග්‍රීසි තේරුම දක්වා ඇති ලිපියද, www.londonbuddhistvihara.orgහි දක්වා ඇති ඉංග්‍රීසි පරිවර්තනයද පරිශීලනය කළෙමි. ඒවාට දායක වූ සියලු දෙනාට ස්තුති වන අතර පින් පමුණුවමි.

මෙම විද්‍යුත් ලිපියේසෝදුපත් බලා, මුද්‍රණ දෝෂ නිවැරදි කර, කියවීමට ප්‍රසන්න පරිදි සකස්කර දී  මට සහය වූ සුහාෂිනී ඉහලගම මෙනෙවියටත් පිං පමුණුවමි.

බුදුන්වහන්සේ දේශනා කරන ලද කරණීය මෙත්ත සූත්‍රය කෙබඳුද එහි ආදීනව මොනවාද යන්න ඔබට අවබෝධ කරදීමත්, එමගින් මෛත්‍රී භාවනාව වැඩීමට ඔබ පෙළඹවීමත් මගේ අරමුණ විය. මගේ ඒ අරමුණු සාර්ථක වේවායි මම නිතොර පතන්නෙමි. භාවනාව වැඩීමෙන්  ඔබගේ ගිහි ජීවිත සාර්ථක වේවා! සිත නිවා සනසා ගැනීමටගැනීමට  ඔබටත් මටත් ශක්තිය ලැබේවා!

චන්ද්‍රවංශ මුවන්වැල්ල
52/2 - 2/3, රොස්මිඩ් පෙදෙස, කොළඹ 7
0777896975


No comments:

Post a Comment